පොත් කබඩ් එකක් අස් කරද්දි දවසක් මට පරණ දිනපොත් වගයක් හම්බ උනා. ඒවායෙ බොහෝ දේ ලියවිල තිබුණ. උඩුයටිකුරු වෙච්ච සමාජය, අපේ රටේ නරුම දේශපාලනය වගේම කාලයත් එක්ක දියවෙලා යන අපේ ජීවිත ගැනත් ගොඩක් දේවල්.
මට මතක් උනේ අසාමාන්‍ය තරමේ සංවේදී මිනිහෙක් වෙච්ච සුනිල් මාධව ප්‍රේමතිලකගේ අතින් ලියවෙච්ච සත්‍යවාදියෙකුෙග් දිනපොත. සත්‍යවාදියෙකුගේ දිනපොතෙන් සමාජයට ලොකු මෙහෙවරක් වෙලා තියෙනව කියල මට හිතුන. අවුරුදු දහයකට විතර පස්සෙ මට ආයෙත් ආස හිතුන පොත කියවල බලන්න. හැම තැනම හොයල බැලුව හම්බ උනේ නෑ. (මගේ යාළුවෙක් ඉන්නව නෙවිල් ජයම්පති කියල. මිනිහට අති විශාල පොත් අල්මාරි දෙකක් තියෙනව. ඒ දෙකම පිරිල තියෙන්නේ බලන්න ඉල්ලගෙන ආපහු නොදීපු පොත්වලින්. ෂුවර් එකටම සත්‍යවාදියෙකුගේ දිනපොතත් එතන.)
මට හිතුන මගේ බ්ලොග් එක පරන දිනපොත් පිටු වලින් පුරවන්න. මාධව සහෝදරය වගේ සමාජ මෙහෙවරකට නම් නෙමෙයි. මට ඒ කිට්ටුවටවත් යන්න බැරි වේවි. එත් මේ දින පොත පෙරලද්දි එක්තරා කාලයක ඈත පසල් දනව්වක අපි ගෙවූ ජීවිතය ඔබට දකින්න ලබේවි. ඒ පසල් දනව්වෙ අහිංසක ගැමි ජීවිත අතගාල බලන්න ඔබටත් අවස්තාවක් ලැබේවි. අපි කවදාවත් නොඇසූ නොදුටු දේවල් සමහර විට ඒ දිනපොතේ පිටු වල තියේවි. ඒ පිටු අතරෙ තියෙන සමහර දේවල් හැලෙන කොට අහුලගන්න ආස හිතේවි. ඒ අහිංසක ජීවිත දිහා බලල මගේ හිත හොඳටෝම රිදිච්ච වෙලාවල් වල වැටුනු කඳුළු බිංදුත් සමහර විට පිටු අතරෙ තිබිල ඔබට හම්බ වේවි. තමන්ගෙ දරුවන්ට අකුරු කරන්න කටුමැටි ගහල තල්කොල හෙවිල්ලල ඉස්කෝලයක් හදන මිනිස්සුත් පිටු අතරෙ ඉඳීවි. දිනපොතේ පිටු අතරේ ඇවිදගෙන යනකොට දුෂ්කර සේවයෙන් මට ලැබුණ ලොකුම තෑග්ග, මගේ පාද පරිචාරිකාව ගැනත් අපේ ආදරේ ගැනත්, සමහර විට සොඳුරු සිතුවම් හමුවේවි.
ආයතන ප්‍රධානියෙක් නිසා මානසික ආබාධයකට ලක්වෙලා ගමේ හැමෝටම උදව් කර කර ඇවිදින පුංචිබණ්ඩ මාමා, මීහරකෙකුගෙ පිටේ නැගල ඉස්කොලෙ එන හතරෙ පන්තිෙය දයාසේන, කට්ටි පනින දරුවෙක් අල්ලගෙන එන්න හැතැක්ම දෙකක් කැලේ දුවපු කොළඹ වසන්ත මහත්තය, ඇඳං හිටපු කලිසං කොටේ පිටිං උස්සගෙන ඇවිල්ල තුනේ පංතියෙ තියාගෙන උගන්නපු රතුරාල, දරුවොත් එක්ක හතරෙ පංතියේ ඉගෙන ගත්තු අම්ම, ප්‍රාදේශීය සභාවේ සභාපති ගමරාල මාම, දිය රෙද්දක් ඇඳගෙන ගඟෙන් එෙගාඩ වෙලා ඉස්කොලෙට යන පුංචි ඉස්කෝලෙ හාමිනේ ගාල්ලෙ කුමාරි, කැලෑ ගමේ දරුවන්ට අකුරු කරන්න කන්ද නැගල ලැබෙන්න හිටිය දරුවො තුන්දෙනෙක්ම නැතිවේච්ච නුවර රේණු, ඉස්කෝලෙ දරුවො රේඩියෝවක් අහල නෑ කියල රේඩියෝවක් ගේන්න ගිහිල්ල බයිසිකලෙන් වැටිල ඇහැක් නැති කර ගත්තු ගම්පහ තොන්ඩා, බඩු ගොඩක් ගනන් කියල චමරියේ අට දෙනාට හොදි උයන්න හාල් මැස්සො අටක් ගනන් කරල දෙන රජ්ගම ගිනිකූරා
මේ ගොල්ල ඔක්කොම ඉන්න මගේ දිනපොත කොල ගැලවෙන්නේ නැතුව හොඳට ගැට ගහල ලඟඳිම බලන්න ගෙනල්ල දෙන්නං.
පසල් දනව්වෙ ගුරුතුමාගෙ දිනපොතේ කිසිදු සිද්ධියක්, කිසිදු චරිතයක් සිතින් මවාගත් ඒවා නොවන අතර මෙහි සියළු නම් ගම් සත්‍ය ඒවාම යොදා ගත්තේ ඒ සුන්දර ගම්මානයේ ජීවත් වූ අව්‍යාජ, අවංක, නිහතමානී මිනිසුන්ටත් තම දෙමාපියන්, බිරින්දෑ වරුන්, ස්වාමියන්, දූ දරුවන් ගම්රටවල් වල දමා දුෂ්කර සේවයේ යෙදුනු අවංක රජයේ සේවකයන්ටත් කරන ගෞරවයක් ලෙසිනි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment