1993 මැයි 04 අඟහරුවාදා
පත්වීම් ලිපිය අතට ගනිද්දි තිබුණ දොර ගලායන සතුටට මොනවද උනේ කියල මට හිතාගන්නවත් බෑ. එක හීනයක් ඉටු කරන්නෙ තව දෙක තුනක් අපිටත් නොදැනෙන්න දියකරල දමල කියල පුංචි කාලෙ ඉඳලම මම දැනගෙන හිටිය. ඒත් අපේ හිත් ඒ හීනත් එක්කම ජීවත් වෙනව. ඒ හින්දමද මන්ද, තල් කොළ හෙවිල්ලපු කටු මැටි ගහපු පුංචිම පුංචි මඩුවක් තමයි මගේ මුල්ම ඉස්කෝලෙ කියල පිළිගන්න මගේ හිත කැමති උනේ නෑ. පත්වීම් ලිපිය අතට ලැබුණ වෙලාවේ මොහොතකටවත් හිතුණෙ නෑ ගෙදර ඉඳල සැතපුම් සීයකට වැඩිය දුර ඇවිල්ල මම යන්නෙ මේ වගේ පාසලකට කියල. මේ වගේ පාසල් තියෙනව කියල දැනගෙන හිටියෙත් නෑ.
තල්කොළ වලින් යන්තම් අටවපු වහල කැඩිච්ච තැන්වලින් ඉර එලිය බිමට වැටෙනව. අඩිතුනක් විතර උසට කටුමැටි ගහල හදපු බිත්තියෙ සමහර තැන් වැස්සට තෙමිල හේදිලා ගිහිල්ල. දූවිලි වලින් පිරුණු බිම වාඩිවෙලා හිටපු සමහර දරුවො නැගිටල මගේ දිහා බැලුව. දුඹුරු පාට පැල්ලම් වලින් පිරිච්ච කහ පාටට හුරු සුදු ඇඳුම් ඇඳගත්තු ඒ පුංචි එවුන් දිහා මම කිසිදු හැඟීමක් නැතුව ඔහේ බලං හිටිය. ටික වෙලාවකින් මගේ ඇස්දෙක තෙත් වෙනව මට දැනුන. ඒ වෙලාවෙ මගේ ලඟ හිටපු මගේ තාත්තගෙ අත මම තද කරල අල්ල ගත්ත. කොච්චර වෙලා මම එහෙම හිටියද කියල මම දන්නෙ නෑ. “පුතේ ඉස්කෝලෙට යන්න” කියල වෙව්ලන කඬින් තාත්ත කියද්දි මම නින්දෙන් අහැ ඇරුන වගේ වටපිට බැලුව. මහා මූකලානෙ හේන් යාය අතරින් ඈතින් පේන කඳු මුදුනක් දිහා බලාගෙන මගෙන් වසන් කරන්න හැදුවත් ජීවිතේ පළමු වතාවට තාත්තගෙ ඇස්දෙක තෙත් වෙලා දිලිසෙනව මම දැක්කා. පහළට බහින්න පඩිපෙලක් වගේ හැදිච්ච ගල් උඩට කකුල තියල හෙහින් හෙමින් මම මගේ ඉස්කෝලෙට ගියා රාජකාරි කටයුතු භාරගන්න. මම ගියා නෙමෙයි ඉබේම යැවුනා. කාර්යාල කාමරය, විද්‍යාගාරය, පුස්තකාලය, ආදි මෙකී නොකී හැම දේකටම තිබුණෙ ඒ පුංචි මඩුව විතරයි. හිටියෙ එකම එක ගුරු මහත්මියක් විතරයි. ඒ පාසලේ විදුහල්පති තුමිය. ලිපි ලේඛන අත්සන් කරල ගෙදර එන්න ආව. හොඳටම රෑ වෙලා. මීගහකිවුලෙ ලලිත් මුදලාලිගෙ කඩේ ලෑල්ලක් උඩට වෙලා මම ඩයරිය ලියන්න ගත්තෙ වෙන කරන්න දෙයක් නැති හින්දා. “දැන් රෑ වෙච්ච නිසා බස් සේරම ගිහිල්ල මහත්තයලට බදුල්ලට යන්න මම ලොරියක්වත් නවත්තල දෙන්නම්” ලලිත් එහෙම කියද්දි මම මේ ඩිංගත් ලියල වැඩේ නැවැත්තුව.