Tuesday, March 16, 2010

අකාලයේ සැඟව ගිය ගුරු දිවිය

ලියන්න හිතන් හිටියෙ දුෂ්කර සේවා කාලයේ මගේ දිනපොත් වල සටහන්. මේ වගේ සටහනකින් පටන් ගන්න කවදාවත් හිතුවෙ නෑ. ඒත් කඹුරුපිටියෙ ඉඳල ඇවිල්ල ගැටමාන්නෙ නායකවත්තෙ පාසලේ දරුවන්ට ලෝකෙ පෙන්නපු ඒ උතුම් ගුරුතුමන්ගෙ හැබෑ ගුරු සේවයට මගේ “පසල් දනව්වේ ගුරු තුමාගේ දින පොත” උපහාරයක් කොට පුද දෙන්නම්.

2010 මාර්තු මස 15 වැනිදා

රටට ඕනම කරන මනුස්සයෙක් අද ජීවිත ගමනෙ අවසානය සටහන් කළා. දරුවන්ගෙ ක්‍රීඩා උත්සවයට බඩු වගයක් ගේන්න අත් ට්‍රැක්ටරයකින් ගිහිල්ලා ඒක පෙරළිලා.
ගොඩක් දුර ඉඳල ඇවිල්ලත් ගමේ පාසලේ හරිම සතුටෙන් උගන්වපු, දරුවන්ට තාත්ත කෙනෙක් වෙච්ච, ගුරුමණ්ඩලයට හැබෑම සහෝදරත්වය බෙදපු, දෙමාපියන්ට ඇත්තම ගුරුතුමෙක් උනු නිසාම ක්‍රීඩා උත්සවයට දරුවන්ගෙ තියෙන ආසාව උනන්දුව කැපවීම දැක්කම ඒ ගමන නොගිහින් ඉන්න බැරිවෙන්න ඇති. ඒක නිසා තමයි ඩ්‍රයිවර් කෙනෙක් නෑ කිව්වම, මම එන්නං කියල උඹම ට්‍රැක්ටරේ අර‍ෙගන යන්න හිතන්න ඇත්තෙ. උඹේ හදවතේ තිබුණ ආදරය යකඩ ගොඩට තේරුම් ගන්න බැරිවෙන්න ඇති. උඹේ කැපවීමට සහයෝගයක් නොදී පෙරළල දාන්න ඇත්තෙ ඒකයි.
හතයි තිහට පස්සෙ ඇවිල්ල එකයි තිහට කලින් පනින, හැමතිස්සෙම අයිතිවාසිකම් ගැන විතරක්ම කතා කරන, හැම පොදු වැඩකදිම කර අරින, ටියුෂන් කඩේට උදේටත් ඉස්කෝලෙ ළමයි ගෙන්න ගන්න, අසමජ්ජාති ගුරාල ඉන්න මේ බිමේ තියල තවදුරටත් උඹට දුක් දෙන්න ශක්‍රයටත් දුක හිතෙන්න ඇති. ඒකයි උඹව එහාට ගෙන්න ගත්තෙ. ඒත් එයාටත් වගක් නැති උනා එක වසරෙ ඉන්න උඹෙ පුංචි පැටිය ගැන, හැම වැඩකදිම හෙවනැල්ල වගේ උඹේ ලඟම දැවටිලා ඉන්න ඒ අහිංසකී ගැන හිතල බලන්න.
ගුරුමහත්වරු නෝනල ටික දෙනෙක් උඹට දීපු ගෞරවනීය උපහාර වලින් ටිකක් මේකෙ සටහන් නොකලොත් මගේ දිනපොත් පිටුව බොඳ කරපු කඳුළු කැට වලට අරුතක් නැතුව යාවි.
“මෝඩයෙක්, රස්සාව කරගෙන ඉන්න දැනගෙන හිටියෙ නෑ”. “තමන්ගෙ සීමාව දැනගත්තනං ඔහොම වෙන්නෙ නැහැනේ”. “ඉස්කෝලෙට කලින් ගෙදර ගැන හිතන්න තිබුණ”. “නොදන්න මගුලට මොන එහෙකට ගියාද”.
මේ දේවල් ඇහෙද්දි මගේ කන්දෙක නැතුව ඉපදුනානං මට අඬන්නෙ නැතුව ඉන්න තිබුණ.
උඹ රස්සාවක් කලේ නෑ ඉස්කෝලෙ දරුවන්ට ලෝකෙ පෙන්නුව. උඹ සීමාව දැනගත්තෙ නැති නිසා දරුවො හදවතින්ම හිනා උනා. ඉස්කො‍්ලෙ ගැන වැඩියෙන් හිතපු නිසා සල්ලි නැතුව දරුවො හවසත් ඉගෙනගත්තා. මේ මෝඩයෙක් නං අපේ රට මෝඩයන්ගෙන් පිරෙන දවස එනකං අ බලං ඉන්නං.
එක අතකට ඇත්ත උඹ මොන මගුලකට ගුරුවරයෙක් උනාද? මේ වගේ ගුරුවරු අපිට වැඩක් නැතුව ඇති.